වෛද්‍ය සෘෂීවරු හඳුන්වා දීම කාලීන වගකීමක්!

ශ්‍රී ලාංකික අනන්‍යතාවයෙන් යුත් දේශීය වෛද්‍ය ක්‍රම මත පදනම්වූ රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා පිළිබද අස්පර්ෂීය ඥාණය දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද වැඩි අවධානයට යොමුව ඇති අවධියක ලියාපදිංචි පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තොරතුරු ඇතුලත් වෙබ් මෙවලමක් සකස් කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමු.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා දේශීය වෙදකම ප්‍රවර්ධනය කරමින් අපේ රටට ආවේණික වූ වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කොට පෝෂණය කිරීමත්, එය මතු පරපුරට තිළිණ කිරිම පිණිසත් එම සම්ප්‍රදායික දැනුම් පද්ධතියට සහ ඒ හා ගෞරවාන්විතව බැඳුණු වෙද සෘෂිවරුන් ජනගත කිරීම අප සතු වගකීමක් ලෙස සලකන්නෙමු.

අපගේ දේශීය වෛද්‍ය ක්‍රමය, ස්වභාව ධර්මයත්, බෞද්ධ ඉගැන්වීමත් සම්මිශ්‍රණය වී වසර දහස් ගණනක් තිස්සේ පවත එන්නකි. ලොව අන් කිසිම රටකට නොදෙවෙනි රෝග ප්‍රතිකාර හා නිවාරණ ක්‍රම, ජිවන චර්යාවන්, ආහාර විහරණයත් පැවති බව ඓතිහාසික සාධක විශ්ලේෂණයේදී තහවුරු වී ඇත. මෙවැනි විශ්මිත හාස්කම් පිළිබද නෂ්ඨාවශේෂ මිහින්තලය කේන්ද්‍ර කරගත් ආරෝග්‍යශාලා පද්ධතියෙන් අද වන විටත් සාක්ෂි වශයෙන් සොයා ගනිමින් පවතී.

තවද අපගේ සම්ප්‍රදායික දැනුම් පද්ධතිය මත පදනම් වූ මෙතක් ලියාපදිංචිය සදහා අවස්ථාව හිමි නොවුණු නිස්සරණාධ්‍යාසයෙන් හා දැඩි අධ්‍යාත්මික ශක්තියකින් රෝගීන් සුව කිරීමට කැප වුනු හා ඒ සදහා සුදුසුකම් ලැබූ වෙද සෘෂිවරුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය රෙගුලාසි රාශියක් සැකසීමටත් අප අමාත්‍යංශය මේ වන විටත් කටයුතු කරමින් සිටි.

පාරම්පරික සහ ආයුර්වේද ලියාපදිංචි වෛද්‍යවරුන් මෑත කාලයේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා විශාල මෙහෙයක් සිදු කරනු ලබන පිරිසකි. බටහිර වෙදකමට කරට කර අභියෝග කරමින් රෝගීන් සුවපත් කිරීමේ කාර්යයෙහි නියැලෙන ලියාපදිංචි පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තොරතුරු ඇතුලත් වෙබ් අඩවියක් එළිදැක්වීම තුළින් රටේ මහජනතාවට දක්ෂ ප්‍රවීණ වෛද්‍යවරුන්ගේ තොරතුරු දැනගැනීමේ අවස්ථාවක් උදාකරලීම ප්‍රධානතම අරමුණයි. ඒ මගින් අදාළ රෝගී තත්වයන් සදහා නිවැරදිම වෛද්‍යවරයා තෝරා ගැනීමේ හැකියාව මහජනතාවට ලැබෙනු ඇත. සාඩම්බර අතීතයක සිට පැවත එන දේශීය වෙදකම අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කරන්නට වර්තමානයේ අපගේ ඇති වගකීම් ඉටු කිටිමට අපි පසුබට නොවෙමු.

නීතිඥ සිසිර ජයකොඩි
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ආයුර්වේද රෝහල් සංවර්ධන සහ
ප්‍රජා සෞඛ්‍ය රාජය අමාතයාාංශය.